Pages

Wednesday, 29 January 2014

සුද්දගෙම සූට් බූට් ඇඳගෙන...... නිදහස සමරන ටයි කෝට්කාරයෝ...........

කදාස් නමසිය හතළිස් අටේ පෙබරවාරි හතරවෙනිද ලංකාවට(සිලෝන් නමින් හැඳින්වුණ පුංචි කොදෙව්වටඉංග්‍රීසිකාරය නිදහස දුන්නෙ බන්දේසික තියල දෙන කේක් ගෙඩියක් වගේ. කපාගෙන කාපල්ල කියල. 

ඒකනෙ.........එදා ඉදං අද වෙනතුරු ලංකාව පාලනය කරපු එව්වො වැඩි දෙනෙක් රට භක්ෂණය කරන්න ගත්තෙ ලවක් දෙවක් නැතිව. තමන්ට අප්පොච්චගෙන් ලැබුණ බූදලයක් වගේ. අනේ අම්මපා................ 

අල්ලපු රට වන ඉංදියාවට වගේ නිදහස ලබා ගන්න සටනක් දියත් කරන්න කිසිලෙසකින් වත් ඕනැ වුණේ නැත්තෙ නිදහස“ නාමයෙන් දෙන්නෙ හැබෑ නිදහසක් නොව දිරච්ච ලණුවක් බව සුද්ද දැනගෙන හිටි නිසයි.

ඉංදියාවෙ ශ්‍රී ජවහල්ලාල් නේරුල,  සුභාෂ් චන්ද්‍රබෝස්ල, මොහාන්දාස් ගාන්ධිල සටන් කරල ලබාගත්ත පූර්ණ නිදහස ඉංදියානුවන්ගෙ ඇට, මස්, ලේ නහර තුළට කිඳා බහිද්දි   ලාංකිකයො සෑහීමකට පත් වුණේ නිකංම ඉඳල ලැබෙන නාමික නිදහසකිනුයි. 

ඒ හංද ලාංකිකයන්ට මේ ව්‍යාජ නිදහස හිතට, ගතට දැනුණෙ නැහැ. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලාංකික කොම්ප්‍රදෝරු ධනපති පංතියෙ නියෝජිතයන් වෙච්චි සේනානායකල, බණ්ඩාරනායකල වාගෙ කළු සුද්දන්ගෙ අතට බලය හුවමාරු වෙන එකයි සිද්ධ වුණේ.

ඉංදියාවෙ ජන නායකයො දිවිහිමියෙන් සටන් වැදිල සුද්දගෙන්  නිදහස දිනාගත්ත විදිහයි, අපේ රටේ ඈයො සුද්ද ඉදිරියේ දණින් වැටිල සුද්දො ප්‍රදානය කරපු නිදහස බාරගත්ත විදිහයි සිහි වෙද්දි ලැජ්ජත් හිතෙනව ආයිබං.......සෙරන්ඩිබි දේසෙ වාසය කරන ඔටුවටත් ලැජ්ජයි කිව්වම ඕං.

අවසානයෙදි ලබාගත්තෙ එංගලන්තයෙ ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගෙ කිරීටයට යටත් වෙලා ඉන්න සිද්ධ වුණ ආකාරයෙ ඩොමිනිකන් රාජ්‍ය තත්ත්වයක් විතරයි.

හරියට බැලුවොත් ලාංකිකයො තරමක් දුරට හරි නිදහසක් ලැබුවෙ එකදාස් නමසිය හැත්තෑ දෙකේ දි ලංකාව ජනරජයක් බවට පත්වුණාට පස්සෙයි. එංගලන්ත මහ රැජනට තිබුණ නිල බැඳිම අහවර වුණෙත් ඊට පස්සෙ නෙව ..... 

ලංකාවකියන නම  ශ්‍රී ලංකාවවුණෙත් මේ වෙලාවෙ තමයි. ඒ විදිහට බලනකොට හරිනම් නිදහස සමරන්න ඕනෙ මැයි 22 දාටයි.

ඔය කොයි නිදහස ලැබුණ කිව්වත් පලක් නෑ...මානසික නිදහස ලැබිල නැති කොට. 

සීත රටේ සුද්ද ටයි කෝට් සූට් බූට් ඇන්දෙ හීතල සමහන් කරගන්න. අනේ අම්මපා සිරි ලංකාවෙ ඉන්න කළු සුද්දො විතරක් නොවෙයි, ගිනි කාෂ්ඨක වාලුකා කාන්තාරෙ රස්සාවට ඇවිල්ල ඉන්න ලාංකිකයන් ලෙස පෙනී සිටිමින්, ලාංකිකයන් නියෝජනය කරනවැයි පුරසාරම් දොඩවන සංගම්වල කට්ටියත් ටොයිලට් එකට ගියත් අඳින්නෙ ටයි කෝට්මනෙ?

මේ හුටප්පරං ඇඳුම අඳිනව විතරක් නොවේ ලෝකෙට පේන්න හරිම උජාරුවෙන් ගත්තු පිංතූරත් ෆේස් බුක් එකේ ප්‍රසිද්ධ කරනවනෙ. 

මේවයින් පෙනෙන්නෙ මේ කට්ටිය කොයි තරම් දීන මානසිකත්වයක් තියෙන ඈයොද කියලයි.

ඔටුව කිසි ලෙසකින්  ටයි කෝට් විරෝධියෙක් නං නෙමෙයි ඔන්න. 

යුරෝපයෙ සීත රටක සම්මන්ත්‍රනයකට සම්මේලනයකට සහභාගි වෙනකොට, නැත්තං සුද්දත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරනකොට වගේ ගැලපෙන අවස්ථාවලදි ටයි කෝට් ඇන්දෙ නැත්තං නිකං ගැලපෙන්නෙ නැහැ වගේ බව ඔටුවට තේරෙනව. 

ඇරත් ලාංකිකයො තම එදිනෙදා ගමනට බිමනට පවා කලිසං කමිස අඳින්න හුරු වෙලා අහවරයි.. පහසුව අතින් බැලුවත් අමුඩ කෙටියට වඩා මේ ඇඳුම සංවරයි. කැඩි කැඩි සරම අඳිනවට වඩා පහසුයි. ඉතිං කලිසම් කමිස අඳිනවට ඔටුව විරුද්ධ නැහැ.

ඔටුව කියන්නෙ ආයෙම අමුඩෙට යන්න කියල නෙමෙයි ඕං...නිකං කළු සුද්දො වෙලා බෙල්ල හිර කරං පිඹ පිඹ ඉන්න එක ගොං පාට් එකක් කියලයි.

ඒ හිංද මේව අහල ලැජ්ජ හිතිල ඔය වටිනාකරන සූට් බූට් ටිකට ගිනි තියනව එහෙම නොවෙයි. අපුල්ලල අරං තිබ්බට කාරි නැහැ, අඳින්න වෙලාවක් එයි.

ඇයි හෙට අනිද්දා උපන් මාතෘ භූමියට, සිරි ලංකාවට හතළිස් අටේ ලැබුණ නිදහස සමරන්න තානාපතිතුමා සංවිධානය කරන උත්සවයත් ජයටම ගන්නවනෙ හැබෑටම.

හොහ්...හොහ්....හොහ්....!







සෙස්ස පස්සට ෴ 


- සෙරන්ඩිබ් ඔටුවා  


Friday, 24 January 2014

ඇහින්දාස් නළු-නිළි බට්ටෝ......පිරිවරාගෙන ආතල් ගන්නෝ.......



පන් බිමෙන් ඈත රටක රැකියාව කරන්නට එන බොහෝ දෙනා තම ආදරණීයයන්ගෙන් දුරස් වී ගත කරන්නේ මානසිකව පීඩාවට පත් වූ ජීවිතයක් බවට සැකයක් නැහැ.

තම ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වීම පමණක් නොවෙයි... උපන් දා සිට බද්ධ වී සිටි පරිසරයෙන් දුරස් වී සිටිමත් එක් කරනු ඇත්තේ දැඩි පීඩනයක්.

ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදින්නට, ගහ කොළ හෙවනේ ගිමන් නිවන්නට, පන්සලකට-පල්ලියකට ගොස් සිත සනහා ගන්නට හුරු වී සිටියවුනට මේ වාලුකා කාන්තාරෙ ගිනි කාෂ්ඨක අව්වේ දාහය මෙන්ම හිරිගඩු පිපෙන ගත සිදුරු කොට හමන සීතල සුළඟත් දරා   ගන්න පහසු නැහැ. 


ඒත් මේ කටුකබව තමන්ගේ උරුමය ලෙස පිළිගන්න හැමෝම වගේ හුරු වෙලා. 

අල්ලපු ගෙදරත් එක්ක ඕපදූපයක් කියන්න, රටේ තොටේ දේශපාලනයක් ගැන දොඩන්න, නින්දට පෙර ටෙලි නාට්‍යයක් අහන්න-බලන්න (සමහරු ඉතිං ටෙලි නාට්‍ය බලනවට වඩා අහන එකනෙ කරන්නෙ...), ඉඳ හිටවත් චිත්‍රපට ශාලාවකට ගිහිං සිංහල චිත්‍රපටයක් නරඹන්න අවස්ථාවක් නැති නිසා ජීවිතය වඩාත් වියළියි කියල කෙනෙකුට හිතුනොත් පුදුම වෙන්න දේකුත් නැහැ තමයි.

ඉතිං මේ කාන්තාරෙ ජීවත් වෙන කට්ටිය විවිධ සමිති සමාගම්, සමාජයන්, සමූහයන් අටවාගෙන එක එක අංග සංවිධානය කරන එක හොඳ වැඩක්. තමන් ඇවිල්ල ඉන්න කාරණය, ඒ කියන්නෙ සල්ලි ටිකක් ඉතිරි කර ගන්න උදේ ඉඳන් රෑ වෙන තුරු රස්සාව කරල විවේක ගන්න තියෙන පැය කිහිපය අනෙක් අයගෙ සුබසාධනය වෙනුවෙන් ගත කරන එක එක්තරා විදිහකට කැපකිරීමක්. 

තම තමන් පදිංචි වෙලා ඉන්න ඉසව් ආශ්‍රිතව වගේම සීමා මායිම් වලින් තොරවත් මෙවන් ගොනුවීම් දක්නට ලැබීම හොඳයි. මූලිකත්වය ගන්න සමහරුන්ගෙ පරමාර්ථය විවිධාකාර වෙන්න පුළුවනි. 

මේ විශම සමාජයේ එහෙම නොවී තියේවියැ ?

කෙනෙක් කැපී පෙනෙන්න, තවෙකෙක් පොරත්වයට, පොඩි පහේ වුණත් සිවිල් බලයක් හදා ගන්න, විරුද්ධ ලිංගික ඇසුරට සමීප වෙන්න, ලංකාවෙදි නොලැබෙන පිළිගැනිමක් ලබාගන්න යනාදී වශයෙන් මෙකී නොකී යටි පරමාර්ථ තියෙන්න පුළුවන් වුණත් සැබෑ අවංක චේතනාවෙන් යුක්තව තමන්ගෙ රටේ, තමන්ගෙම සහෝදර ජනතාවකගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙරමුණේ රාළලා වෙන අයත් නැතුවාම නොවෙයි.

හැබැයි පුතෝ....මේ අස්සෙ අපූරු ගොංපාට් පවා සිද්ධ වෙනව. 

සමහරුන්ට තියෙනව නළු-නිළි පිස්සුවක්. 

මොකක් හරි ටෙලි කෑල්ලක දඟලපු නළු බට්ටෙක් හරි නිළි බට්ටියක් හරි ලොකු ගාණක් වියදම් කරල ගෙන්නගෙන ‍ළඟ ඉඳං ෆොටෝ අරං ෆේස් බුක් එකේ දාගන්න තියෙන තදියමක් අම්මපා....!.

මේ ගොල්ල ඇවිල්ල බැරි බැරිගාතෙ සිංදු කියන්න ගත්තම ඇඟේ මාලු නටනව ඕං....

මේ ගොල්ල කරන්නෙ මොකක් හරි උත්සවයක්, සල්පිලක්, සංගීතයක්, චොකා බයිලයක් සංවිධානය කරන එක. 

ලංකාවෙ අතිශය ජනප්‍රිය අරය මෙයා එනව කියල ප්‍රචාරය කරනව.

අවුරුදු ගණන් වාළුකා කාන්තාරෙ දුක් විඳින ජනී ජනයත් හිතනව මරු බඩු ටිකක් තමයි එන්නෙ කියල.
ඉතිං උදේ පාන්දරින්ම එනව ගොට්ට අල්ලන්න.

අතේ තියෙන පිච්චියත් අරං ඇවිල්ල පූජා කරනව. ගුවන් ටිකට්පත්, හෝටල් ගාස්තු, කෑම බීම, සංචාරය සඳහා ප්‍රවාහන විය හියදම් පියවගන්නත් එපැයි.

අර නළු-නිළි බට්ටො බට්ටියො
ත් අපරාදෙ කියන්න බෑ...ගොං ජෝක් දානව, සිංදු බයිල කරනව, බයිල කවි කරනව. එහෙට මෙහෙට පැද්දි පැද්දි තොඳොල් වෙනව. 

කට්ටියට මාරම
මාර ත්‍රිල් ඈ.........! 



සෙස්ස පස්සට ෴ 

- සෙරන්ඩිබ් ඔටුවා  


Sunday, 12 January 2014

චොකා බයිලා මැද්දේ... සැමරූ සුනාමියේ සද්දේ...

වාලුකා කතරේ ඉඳන් හිතට එන සිතිවිලි ලියන්න සිතුවා. මේ සෙරන්ඩිබ් ඔටුව ලියන පළමු වෙනි බ්ලොග් එක.

මේ කාලෙ හොඳින් සීතල දැනෙන නිසා එතැනින්ම ලියවිල්ල පටන් ගන්නම්.


මේ කාලෙ හොඳින් සීතල දැනෙන නිසා එතැනින්ම ලියවිල්ල පටන් ගන්නම්.


නත්තල් සීතත් එක්කම පහුගිය දෙසැම්බර් 26 වෙනිද ඔටුව ගියා ලංකාවෙ සුනාමියට වසර 9ක් සැපිරීම නිමිත්තෙන් වාළුකා කාන්තාරයේ පන්සලක තිබුණ සැමරුමකට සහභාගි වෙන්න.


ඇත්තටම මෙතැන හිත නිවෙන තැනක්.



වාලුකා කාන්තාරෙ මැද්දෙ හොඳින් වැඩුන බෝධි වෘක්ෂයක්. 
එය මැදි කොට තැනූ පන්සලක්. 

ගොඩනැගිල්ල පුංචි වුනත් පරමාර්ථය ලොකු නිසාද කොහෙද එතැනට ගියාම හිතට දැනෙන්නෙ හරිම පහන් බවක්. 


සැමරුම හරිම චාම්...එහෙත් අර්ථවත් විදිහට සංවිධානය කරල තිබුණෙ හිත හොඳ මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා.

“සුනාමිය“ අකුරු හැඩේට තැබූ ඉටි පහන් දල්වන්නත් බෝධිය නාවන්නත් ඹටුවට ඇරැයුම් ලැබුණෙ එතැන පෙරමුණේ රාළ වුණ නිමල් සොයුරාගෙන්.


පිරිසක් ළං කරගෙන පන්සල පවත්වාගෙන යමින් නිමල් කරන සමාජ සත්කාර ගැන තුති මල් මිටක් පිදිය යුත්තේ වාලුකා කාන්තාරෙ තමන්ගෙ ජීවිකාව කරන ගමන් බොහෝ සීමා මායිම් මැද්දෙ කරන කැපකිරිමට උපහාර ලෙසිනුයි.

ආගමික වතාවත් වලින් පසුව රසවත් දාන වේලක් භුක්ති විඳින්නටත් ලැබුණ.

එයත් විශේෂයක් වෙන්නෙ උයන පිහන වැඩ ටිකත් කට්ටිටගෙ සම්මාදමෙන් පන්සල් බිමේම සිදු වුණ නිසයි. 


රේණු සොයුරියගෙ අත් ගුණේ හොඳයි කියල ආපහු එද්දි ඔටුවට හිතුණෙ දානෙ ඉව්වෙ මෙයා තමයි...අපි වැඩ ඇරිල ඇවිත් කපන කොටන වැඩ කරල දුන්න කියල නිමල් කිවව් නිසයි.

යොදුන් ගණන් දුර ජිවත් වුණත් තමන්ගෙ මව් රට ගැන හැඟීමකින් කෙරෙන මෙවැනි සිහිපත් කිරීම්, සැමරුම් අප අගය කළ යුත්තේ ගොඩක් වෙලාවට සමහර කට්ටිය කරන චොකා බයිල දැක්කමයි.


 කියන්නත් ලැජ්ජයි.........!

 ඒත් දකින දේ එළි පිට කතා කරන එක ඔටුවගෙ ජන්ම ගතියක් නිසා කට 

කැපුවත් නොකිය ඉන්න බැරි නොකී කතාවකුත් කියලම සටහන නිමා 

කරන්නම්.


දෙසැම්බර් 26 කරේ තියාගෙන යන්න ඕනෙද කියල මේ චොකා බයිල 

කාරයො අහන්නත් බැරි නැහැ. 


සමහරු සංගීත සංදර්ශන, ප්‍රසිද්ධ නත්තල් සාද සංවිධානය කරන්න 

පෙරමුණ ගත්තෙ එහෙම හිතල වෙන්න ඇති.


සුනාමියෙන් බැට කෑ මිනිස්සු කොටසක් තවමත් දුක් පීඩා උහුලගෙන 

ඉන්න, ඊට ලැබුණ ආධාර සිය මඩියට තර කරගත්ත භ්‍රෂ්ටයො ඉන්න, 

සුනාමියට ගොදුරු වෙච්චි අහිංසකයන්ගෙ ගෙල බැඳි මාල කඩා ගත්ත 

රටක ඉපදුණ මිනිස්සුන්ට මේව සුලු දේවල් වෙන්න පුළුවනි.


ඒත් මෑත ඉතිහාසෙ අපි උපන් රටට සිද්ධ වෙච්චි මේ ව්‍යසනය කොහොම 

හිතින් අමතක කරන්නද ? 


අමතක වෙන්න ගියත් අමතක කරන්න වටිනවද ?


හරියට අම්ම අප්ප මිය ගියාම අවුරුදු කිපයකින් අමතක කරනව වගේ. 


ටොයිලට් එකට යන්නත් ටයි කෝට් අඳින සිංහල අමතක කරමින් ඉංග්‍රීසියෙන් දෙඩුවම පැලැන්තියෙන් උසස් කියල හිතන තමන්ගෙ රටෙන් ඇවිත් දහදුක් විඳිමින් කඹුරන සොයුරු සොයුරියන් දිහාවෙ අවඥාවෙන් බලන, ඔවුන් වෙනුවෙන් සමාජීය යුතුකමක් ඉටු කරන්න මැලි වෙන, වෙනම පංතියක් හදාගෙන ඒ මැදට වෙලා හිස් ජීවිත ගත කරන චොකා බයිල මනස් ඇත්තවුන් ගැන සොරිම තමයි කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද ආයිබං....?



සෙස්ස පස්සට ෴ 

- සෙරන්ඩිබ් ඔටුවා