Pages

Friday, 28 February 2014

ඔටුවන් එක්ක නිදිවදින “බල්ලොත් එක්ක“ බෑ......



නූර්ති හා නාඩගම් අස්සෙම හිරවෙලා හිටි සිරිලංකාවේ සරච්චන්ද්‍ර ලොක්කගෙ “මනමේ“, “සිංහබාහු“ නාට්‍ය වේදිකාවේ පෙන්නන්න ගත්තත් එක්ක සිංහල නාට්‍ය කලාව අලුත් පාරක ගිය බව ඔය කවුරුත් පිළිගන්න ඇත්තක්නෙ.


හැබැයි පුතෝ සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වගෙ ඈයෝ සරච්චන්ද්‍රගේ ශෛලිය තවත් කනපිට ගහල මිනිස්සුන්ට බොහෝම සමීප විදියට නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ බුද්ධිමය සංවාදයක යෙදෙන ගමනුයි ඕං.
ඊට පස්සේ සෝමලතාල, සයිමන්ල, ධර්මසිරිල, හඳගමල, ප්‍රසන්නල, මනෝරත්නල, දමයන්තල, ධනංජයල, උදයසිරිල, රාජිතල, පූජිතල යනාදි වූ හැබෑ ආදරෙන් නාට්‍ය කලාවට එක් වූ ඇත්තො නරඹන්නන්ගෙ මොළේ කචල් නොකර වේදිකාවේ ජය කෙහෙලි නැංවූවා.
මෙහෙම ලියද්දි සමහරුන්ගෙ නම් හැලිල තියෙනව නං ඒ හිතා මතා කොරපු එකක් නොවෙයි. අත පහු වෙච්චි නම් ටික තම තම නැණ පමණින් බොලල්ලාම එක්කාසු කර ගත්තාට ඔටුවගෙ හිතේ කහටක් නං නෑ.
ඔටුවට  සිරිලංකාවේ නාට්‍ය කලාව ලියන්න හිතුණෙ රවීන්ද්‍ර ළමයා තමන් සංස්කරණය කරන “ කලස“ අතිරේකයට 2014 රාජ්‍ය නාට්‍ය උ‍ලෙළ ගැන ලියල තියෙන ලියුං කරදහයිය කියෙව්වමයි ආයිබං.
මැන්දිස් වගෙ දක්ෂ නළුවෙක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වෙලා ඉඳිමින් තමන් රඟපාපු “ රඟපෑම් ඉවරයි“ වගේ කිසි කමකට නැති නාට්‍යයක් අන්තිමට වටයට තෝර ගත්ත එක ගැනත් රවින්ද්‍ර ළමයා විවේචනයක් කොරල තිබුණා.
අම්මප කටේ මසුරං දාන්න වටින කතාව. අවුරුදු ගණනාවක් තිස්සෙ වාලුකා කාන්තාරයට වෙලා තවලම් අදින සෙරෙන්ඩිබ් ඔටුවත් අවුරුද්දකට සැරයක් දෙකක් සිරිලංකාවට ආව ගියාම නාට්‍යයක්, චිත්‍රපටයක් බලන්න අමතක කරන්නෙ නෑ. ඒ හන්දා වර්තමාන නාට්‍ය කලාව, චිත්‍රපට කලාව, සාහිත්‍ය කලාව විතරක් නොවෙයි දේශපාලනය ගැනත් අවදියෙන් තමයි ඉන්නෙ.
ඔය උදයසිරි කොලුවගෙ “රඟපෑම් ඉවරයි“ කියන නාට්‍ය බැලුවම ඔටුවට හිතුණෙ ඇත්තටම “රඟපෑම් ඉවරම තමයි“ දෝ කියලයි.
ඕවත් නාට්‍යද ඕයි. 

වේදිකාවට නැගල කිරිපනුගාය හැදිල වගේ හතර අතේ ඇඹරිල දෙපිට කැපෙන කතා කිව්වම ඒවා නාට්‍යයද? රඟපෑම්ද?
ඔන්න උදයසිරි කොලුවගෙම “සුද්දෙක් ඔබ අමතයි“ නං යම් වෙනසක් කොරපු නාට්‍යයක් කිව්ව ඇහැකි.
හැබැයි ඉතිං රවින්ද්‍ර ළමයගෙ ලියුමේ වැදගත් කතාව තිබුණෙ අන්තිමෙටයි. ඔන්න ඒ කොටහ එහෙම්මම මෙතන දිග හරිනව.
“ මෙවර නාට්‍ය උලෙළෙන් අපිට අර්බුද රැසක් පෙනේ. ඒ අර්බුද අපේ කලා ක්ෂේත්‍රයේ අර්බුද වන්නේම යැයි කෙනෙකුට කිව හැකිය. එහෙත් ඒ එසේ නොවේ. නාට්‍ය කලාව වැටී ඇති තැන ඉතා ශෝචනීයය. එක් පසෙකින් එහි විනිශ්චයේදී  ඇගයීමට තරම් උසස් යැයි කිව හැකි නාට්‍යයක් නැත. අනෙක් පසින් අගයන යම් මට්ටමේ නාට්‍යයක් වුව සංවිධානය කර ප්‍රේක්ෂකයා වෙත පැමිණය විය හැකි ක්‍රමවේදයක් නැත. ඒ නිසා නාට්‍ය උලෙළින් ජය ලබන නාට්‍යයක් සම්මානයෙන්ම නවතිනු විනා අනෙකක් වන්නේ නැත. මෙය බරපතල තත්ත්වයකි. එය තවත් බරපතල වන්නේ සම්මාන ලබන ප්‍රශස්ත නාට්‍ය පසෙක තිබියදී නාට්‍ය කලාව ‘බල්ලොත් එක්ක බෑ‘ සමග ඉදිරියට යෑම තුළය! “ – 2014 පෙබරවාරි 25 “රිවිර“
රවින්ද්‍ර ළමය කියන කතාවට ඌන පූරණයක් ලියන්න ඔටුවගෙ දැනුම මදි වෙන්න පුළුවන්. ඒත් පහුගිය කාලෙ නාට්‍ය උලෙළින් දිනන නාට්‍ය කීපයක් සම්මානයෙන්ම නවතින බව කීම ඒ තරම්ම නිවැරදි නෑ වගෙ. ප්‍රසන්නගෙ “ද්විත්ව“, ධර්මසිරිගෙ “ ට්‍රෝජන් කාන්තාවෝ“, ධනංජයගෙ “ සිහින රඟමඬල“, උදයසිරිගෙ “ සුද්දෙක් ඔබ අමතයි“,  රාජිතගෙ “ වීරයා මැරිලා“, “ සිහින හොරු අරං“, “ආපහු හැරෙන්න බෑ“ වගේ නාට්‍ය සම්මාන ඇතුව හෝ නැතිව දර්ශන වාර වැඩි ගණනක් රංගගත වුණා නොවැ.
හැබැයි ඉතිං ඔය තිරිසන් සත්තු වේදිකාවට ගේන, නාට්‍ය කියන නමින් එන පපඩම් කෝලං නං පැල් බැඳගෙන රට වටේ විතරක් නොවෙයි ලෝකෙ වටෙත් යන බව නං ඇත්ත තමයි.
ඒකෙන් පේන්නෙ නරඹන ඈයින්ගෙ බුද්ධි මට්ටම විතරක් නොවෙයි ආයිබං. ඕවා සංවිධානය කොරොන කට්ටියගෙත් බූරු මොළවල තරම තමයි. ඒ විතරක්යැ සල්ලි ගරන්න කුණු රසය වේදිකාවට ගේන නාට්‍යකාරයොයි, උං පස්සෙ යන සම්භාවනීය (?) නළු නිළි රොත්තයි කරන්නෙත් තිරිසන් වැඩක්ම තමයි.
ඒකනේ බොලංල “කකුල් හතරේ ඉලංදාරියා“, “ කෑම ලෑස්තියි“, “ ගුටි කෑමට නියමිතයි“ කියල කියමින් “නරි බුරති“ පෙන්න පෙන්න “ බල්ලොත් එක්ක බෑ“ ලෝකෙ වටේ ගෙනියන්නෙ.
ඔහොම යනකොට “ඔටුවන් එක්ක නිදි වැදීම“ ,“ ඔටු ඉලංදාරියා“ ,“ ඔටු කොටුව“ වගේ නම් වලිනුත් නාට්‍ය පෙන්නන්න ගත්තොත් ඔටුව නං පුදුම වෙන්නෙ නෑ ඕං.

බලාගෙන යනකොට සිරිලංකාවෙ නාට්‍ය කලාවට ගොඩ එන්න
 මේ “ බල්ලොත් එක්ක බෑ“ ම තමයි.



සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 

එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

Wednesday, 26 February 2014

එන පොට හොඳ නැත......කෙල්ල ගෙට ගං....

කුවේට් දේශයෙන් එන මේ පුවත 

වාලුකා කාන්තාරයේ සියලුම ඔටුරටවලට 

මතු දිනයක අදාළ වීමට පුළුවන් නිසා සති මැද ඔටුකතාවක් ලෙස 

සටහන් කරන්න හිතුව ආයිබං.




රාබි ජාතිකයින්හට අවාසි වන අන්දමට තම රටේ ශීඝ්‍රයෙන් වර්ධනය

වෙමින් යන ජන විකාශ විපර්යාසය වෙනස්කොට ජනගහනය අතර සම

 තුතතාවයක් නැවත ඇති කිරීමේ බලා පොරොත්තුවෙන් ඉදිරි වසර

 පහේදී කුවේට් දේශයේ ජීවත්වන විදේශිකයින් දස ලක්ෂයකට වඩා

වැඩි ප්‍රමාණයක් පිටුවහල් කල යුතු බවට යෝජනාවක් කුවේට් මන්ත්‍රණ 

සභාව වෙත ඉදිරිපත් කර ඇත.


මන්ත්‍රණ සභා සාමාජික කලීල් අබ්දුල්ලා පවසා ඇත්තේ " තම රටේ 

කුවේට් ජාතිකයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 

විදේශිකයින්ගේ ජනගහනයට සමාන වන 

ප්‍රමාණයටවත් වෙනස් කිරීම ඉතාමත් වැදගත්" 

වන බවයි.


ඔහු යෝජනා කර ඇත්තේ වසරකට දෙලක්ෂ අසුදාහ බැගින් ඉදිරි වසර


පහ ඇතුළත විදේශිකයින් කුවේට් රාජ්‍යයෙන් ඉවත් කළ යුතු බවයි.


දැනට කුවේට් දේශයේ විදේශික විසි පන් ලක්ෂයක් ජීවත්වෙති. එම 

රටේ වත්මන් දියුණුව ඇතිකර ගැනීම උදෙසා මෙම පිරිසගෙන් 

ප්‍රශංසනීය මෙන්ම දැවැන්ත වූ සේවයක් ඉටුවෙයි.


මේ බව පිළිගන්නා බව පවසන අබ්දුල්ල මන්ත්‍රී වරයා කියන්නේ

කුවේටයේ දේශීය ජනතාව අතර දැනටමත් උග්‍ර රැකියා ප්‍රශ්නයක් 

පැනනැගී ඇති බවයි.


මෙම තත්වය ලිහිල් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත්

ජනතාව අතර විවිධ උද්ඝෝෂණ පැනනැගීමට හොඳටම ඉඩ ඇති බව 

ඔහු පවසයි.


මාසයක් ඇතුළත කුවේට් පාර්ලිමේන්තුවට මෙවන් 
යෝජනාවක්


ඉදිරිපත් වුණ දෙවන අවස්ථාව මෙයයි.


ජනවාරි 28 වෙනිදා අබ්දුල්ලා අල්තමිමි මන්ත්‍රී වරයාද කුවේටයේ 


ජීවත්වන විදේශිකයින්ගේ සංඛ්‍යාව අඩුකළ යුතු බව කියන 

යෝජනාවක් ඉදිරිපත් කළේය.

.
කුවේට් රාජ්‍යයේ ජනවාරි ජන සංඝණනය අනුව මුළු ජනගහනය


මිලියන 4ක් පමණ වෙති. එයින් කුවේට් ජාතිකයින් ඉන්නේ මිලියන 

එක හමාරක් පමණය.


විදේශිකයින් අතර සියයට 38ක් ආසියානුවෝ වෙති. අවට පිහිටි 

අනෙකුත් අරාබි රටවලින් පැමිණ සිටින අරාබිජාතිකයින්ගේ සංඛ්‍යාව 

සියයට 27ක් පමණ වෙයි

.
අල්තමිමි යෝජනා කළේ මුළු ජනගහනයෙන් සියයට 2ට වඩා


විදේශිකයින් සිටිය යුතු නොවන බවයි.



මේ තත්ත්වය මීට අවුරුදු කීපයකට පෙර සෞදි අරාබියාවේ සිදු විය.


සමහරක් විට අනෙක් ඔටුරටවලටද යම් දිනක මෙය බලපවත්වන


කරුණක්  විය හැක.                 


(උපුටා ගැනීම ෆේස්බුක් හි Lankika Janathawa Bahrainhi වෙතිනි.)


සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

Friday, 21 February 2014

ගහපු පදයකුත් නැත්තේ...... බෙරේ පලුවකුත් නැත්තේ........


ටුකතාව ලියන්න කරුණු කාරණා කල්පනා කරමින් ඉන්නකොට වාලුකා කාන්තාරයේ ජීවත්වන දේශපාලන සත්ත්වයෙක් විද්‍යුත් තෑපෑලෙන් එවල තිබුණු ලියුම් කරදහියකට හිත ගියා.
කිසිම කැපීමකින් කෙටීමකින් තොරව ඒ ලිපිය “වාලුකා සිතුවිලි“ වලට එක්කොරන්නෙ මේ කතා බහ එක්ක සෙරන්ඩිබ් ඔටුවත් එකඟ වෙන හින්දයි ඕං.


     *                  *                  *                  *                  


ඔටූ......

මේ කතාබහ තනිකරම දේශපාලනිකයි. ඔටුකතාවට ගැලපෙනව නම් දාන එකයි ඇත්තෙ.

මං මෙහෙම පටන් ගන්නම්. දේශපාලන නායකයො බිහිවෙන්නෙ ජනතාව අතරින් කිව්වට ඒක එහෙමමයි කියල කොහොම පිළි ගන්නද? වෙලාවකට ජනතාවට බොහෝ ඈතින් ඉන්න අය පවා දේශපාලන නායකයන් වූ අවස්ථා තියෙනව.

ලංකාවෙ විතරක් නොවෙයි, කොයි රටෙත් එහෙම තමයි. නායකත්වය කරා ළං වෙන්නට තමන් වටා ගොඩ නගාගන්න සිවිල් මෙන්ම දේශපාලන බලය වගේම පෞද්ගලික නෑදෑ හිතවත්කම් පවා බලපානව.

බොහෝ දේශපාලන පක්ෂ වලට නායකයන් පත්කර ගන්නෙ ඒ ඒ පක්ෂ තුළින්ම පුද්ගලයන්ට නැගී එන්න ඉඩ සලසමින් කිව්වට සමහර අවස්ථා වලදි පක්ෂ නායකයාගෙ නැත්නම් තීන්දු තීරණ ගන්න ඉහළ පුටුවල ඉන්න ඈයින්ගෙ පෞද්ගලික උවමනා එපාකම් මත නායකත්වයට පුද්ගලයන් තෝරාගත් අවස්ථා එමටයි.

එක්සත් ජාතික පක්ෂයෙ පළමු නායකය වුණේ ඩී.එස්. සේනානයක උන්නැහෙ. ඒක ඉතිං කොම්ප්‍රදෝරු ධනපති පැලැන්තියෙ නියෝජිතයන්ගෙ එකඟතාවෙන් සිද්ධ වුණා කියමුකො. ඒත් ඩී.එස්. ගෙන් පස්සෙ ඩඩ්ලිට පක්ෂයෙ නායකකම ලැබුණෙ මොන ජනතා තේරීමක් නිසාවත් නොවෙයි, තමන්ගෙ පුතා වීම නිසා.

ඩඩ්ලිගෙන් පස්සෙ ජේ.ආර්. බලහත්කාරයෙන්ම පක්ෂයෙ නායකයා වුණා නෙව. ඒ ගමන නං හැට පැනල හොට බිම ඇනෙන කම්ම නායකකම අත ඇරියෙ නැ. ප්‍රේමදාසට නායකකම දුන්නෙත් නොදී බැරි කමටනෙ.

දැන් පේනවනෙ රනිල් වික්‍රමසිංහ උන්නැහෙත් නායකකම අත අරින්නෙ නැතිව බලා ඉන්න ලක.

මං මේ කියන්න ගියෙ නායකයා වෙනස් වුණාම පක්ෂයෙ මොන තරම් වෙනසක් පේන්න ගන්නවද කියලයි. 
පක්ෂවල ප්‍රතිපත්ති පවා අංශක 180 ක් හරවන්න අලුත් නායකයෙකුට පුළුවනි. 

දැක්කනෙ හැත්තෑ හතේදි ජේ. ආර්. උන්නැහෙ විවෘත ආර්ථිකයක් ගෙනල්ල එක්සත් ජාතික පක්ෂයෙ විතරක් නොවෙයි මුලු මහත් රටේම ගමන අනිත් පැත්ත හරෝපු හැටි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මොකද වුණේ. බණ්ඩාරනායක උන්නැහේ “සිංහල පමණයි“ කියල ගෙනාව ජාතිවාදී රැල්ල සිරිමා ඒ විදියටම අරගෙන ගියේ නැහැනෙ. නැත්නම් ඒ කාලෙම රට දෙකට කැඩෙනවට මෙන්න කැට.....!

හැබැයි ඉතිං සිරිමත් ප්‍රාදුර්භූත වුණේ වලව්ව ඇතුළෙම ඉඳලම තමයි. නැතුව ජනතාව අතර ඉඳලයැ.

සිරිමා බණ්ඩාරනායක නායිකාව වුණාම පක්ෂයේ ගමන් මග එහෙම පිටින්ම වෙනස් වුණා. වාමාංශික පක්ෂ එක්ක සභාග ආණ්ඩු හදන්න පටන් ගත්ත.

සිරිමාගෙන් පස්සෙ පැරෂුට් එකකින් බැහැල වගේ නායකත්වය අතට ගත්ත චන්ද්‍රිකා ගියෙ වෙනම ගමනක්. කොහොමත් සිරිමාගෙ කාලෙ බොහොම ශක්තිමත්ව තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාන්ත්‍රනය චන්ද්‍රිකාගෙ කාලෙ දුර්වල වුණා නොවැ. චන්ද්‍රිකා රටේ ප්‍රශ්න ඔලුවට ගත්තෙ නැතිව වගේම රටේ ප්‍රශ්න ගැනත් සැලකිලිමත් වුණේ නැති තරම්.

කොහොමින් හරි පක්ෂයෙ නායකත්වයට මහින්ද ලොක්කා පත් වුණත් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ යන ගමන් මග ආයෙමත් වෙනස් වුණා. බණ්ඩාරනායක පරපුරට කත් ඇදපු පක්ෂය රාජපක්ෂවරුන්ගෙ බූදලයක් වුණා.

මෙයත් ලේසියෙන් යන පාටක් නැහැ නේද..?

මං මේ කියන්න යන කතාවට ඔය ටික ඌනපූරණ විදියට ගත්තට කාරි නැහැ.

එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නෙ මාරුවෙන් මාරුවට රටේ ආංඩු බලය ලබා ගත්තු ධනපති පක්ෂ දෙකක්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාමාංශික සායමක් තැවරුවට දෙකම එකයි. උනුත් එකයි මුනුත් එකයි කියල ජනතා විමුක්ති පෙරමුණ කෑමොර දුන්නු එකෙ වරදක් නෑ. ඒක තමයි ඇත්ත.

ඉතිං උනුත් එකයි මුනුත් එකයි කිව්ව ජවිපෙ මේ පක්ෂ වලින් එහැම පිටින්ම වෙනස් වෙන්න එපැයි. නායකයට වග කියන, ඒකාධිපති නායකයෙකුට හිතෙන හිතෙන තීන්දු තීරණ අරං පක්ෂය මෙහෙයවන්න ඉඩ ලැබෙන ක්‍රමයක් නොවෙන්න එපායැ ජවිපෙට තියෙන්නෙ. ජවිපෙ වෙනත් ධනපකි පක්ෂ වලින් වෙන් කරල අඳුන ගන්න පුළුවන් කාරණයත් මේකමනෙ.  
   
දේශපාලන මණ්ඩලයක්, මධ්‍යම කාරක සභාවක් පත් කරල ඒ හරහා තීන්දු තීරණ ගන්න පක්ෂයක් විදිහටනෙ ජනතා විමුක්ති පෙරමුණ රට ඉදිරියට එන්නෙ. 

රෝහණ විජේවීර නායකයා වුණත්, සෝමවංශ අමරසිංහ නායකයා වුණත් ක්‍රියාමාර්ග හා භාවිතයන් තනිවම තීන්දු කෙරෙන්නෙ නැහැනෙ.

ඒක නිසානෙ එදා වගේම අදත් ජවිපෙ එකම විදියේ අදහස් දරන අයගෙන් සමන්විත වෙන්නෙ. 

සෝමවංශ අමරසිංහ උන්නැහෙ නායකයා වුණා කියල එයාට ඉඩක් ලැබුණෙ නැහැනෙ තමන්ට ඕනැ හැටියට තීන්දු තීරණ අරගන්න.

එවැනි ඉතිහාසයක් තියෙන, හරි හෝ වැරදි හෝ වේවා කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් මත තීන්දු තීරණ ගන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර කුමාර දිසානායක කොලුවට ගියාම මොකද මන්දා කට්ටිය මේ තරම් උඩ පනින්න ගත්තෙ.

“ නව නැම්මක්“, “නව රැල්ලක්“, “නව පිබිදීමක්“ ,“ කොන්ද පණ ඇති නායකයෙක්“ යනාදී වශයෙන් අනුර කුමාරගේ නායකත්වය යටතේ අලුත් ගමනක් යන්නට ජවිපෙට සුබ පැතුව හැමෝම නොහිතපු දෙයක් තියෙනව.

ඒ තමයි අනුර කුමාර දිසානායක ආවා කියල අලුතෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නැති බව. අනුර ආවම දේශපාලන මණ්ඩලය විසුරුවා හරින්න පුළුවනිද? මධ්‍යම කාරක සභාව අහෝසි කරල දාන්න පුළුවනිද?

ආයෙමත් තීන්දු තීරණ ගන්නෙ, ක්‍රියාමාර්ග තෝරන්නෙ ඔය මෙච්චර කාලයක් තිබුණු මණ්ඩල, සභාම තමයි. අනුරට තියෙන්නෙ ඒවා ක්‍රියාත්මක කරන්නයි.

ඉතිං ඒ හින්දා මේවා නොදනුවත්කමට කියන කතා. ෆේස්බුක් එක පිරෙන්න අනුරට සුබ පැතූ උදවිය අනියම් විදියට නොකිය කිව්වෙ සෝමවංශ දුර්වල නායකයෙක් බවද? ඔන්න දැන් ජවිපෙට ජව සම්පන්න නායකයෙක් ලැබුණ කියන එකද?

ඔටූ ........
මට කියන්න තියෙන්නෙ එක්කො කට්ටියට වැරදිලා. නැත්නම් දැන දැන ගොං පාට් කෙළිනව නිකං ත්‍රිල් එකට.

අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වුණා කියල අමුතුවෙන් මොනවත් පක්ෂයට වෙන්නෙ නැහැ.

කොහොමත් ඒ කොලුවමනෙ පහුගිය කාලෙත් සෝමවංශ උන්නැහේව ඉස්සරහට දාගෙන තිරය පිටිපස්සෙ ඉදන් නායක කමේ වැඩ බැලුවෙ. දැන් සිද්ධ වුණේ වේදිකාවෙ තිරය, මං කියන්නෙ මේ..... රෙද්ද ගලවපු එක විතරයි.

ආයෙත් දවසක මෙහෙම කතා බහක් කරන්න හිතුනම කඩංපාත්

වෙන්නංකො. 

එතෙක් ආයූබෝ වේවා...........!

*             *                  *                  *                  *

ඔන්න ඔහොම තමයි ආයිබං සෙරෙන්ඩිබ් ඔටුවා දන්න හඳුනන දේශපාලන සත්ත්වයෙක් ඔටු කතාවක් ලියල එවල තිබ්බේ.
හීං සීරුවේ කම්පනාවට ගන්නකොට මේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලයි ඔටුවට හිතෙන්නෙ ඕං.
 ඒ හිංදම තමයි අකුරක්වත් කපන්නෙ නැතිව මේ වංගියෙ “වාලුකා සිතුවිලි“ වලට මේ කතාව ගෙඩි පිටින්ම රිංගව ගත්තෙ.
 බලමුකො ඒකෙත් හැටි ආ............



ගහපු පදයකුත් නැත........!

බෙරේ පලුවකුත් නැත.........!!







සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

Wednesday, 19 February 2014

ඔටු රටවල් වලත් රෙදි නොවැ ඔය ගැලවෙන්නේ.....

(http://www.boondi.lk වෙබ් අඩවියෙන් උදුරා ගත්තේ  
ඔටුරටවලට දුක් විඳින අපේම සහෝදරියන්ගේ 
ඛේදවාචකයක් ගැන ලියැවුණ අර්ථවත් පබැඳුමක් හින්දයි ඕං.......)


සවුදිවල (මිය)ගිය බිරිඳගෙන් සැමියාට


මහත්තයො හවසට හැමදාම බොනවාද

ලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාද


මද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාද


මගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාද




වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද


මැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාද


අරගත්තු ණයවල වැල් පොලිය ආවාද


අනේ මට බැරි වෙයි සමාවක් දෙනවාද




තුන්වේල නැතිවත් හිනැහිච්ච හවසට


රණ්ඩුවක් තිබුනත් එක රැයයි දවසට


නගිනකොට පොල් ගස් බලාගෙන හෙමිහිට


මම ඉතිං මැරුණත් ආදරෙයි හරියට




සවුදියේ අහසට පෝය හඳ පෙනුනට


බුදුපිලිමේ හංගන් හොරෙන් මං වැන්දාට


දන්නේ නැහැ දෙයියොත් නැතිවදෝ මේ රට


එන්නේ නැහැ පිහිටට අනේ මගේ කරුමෙට




පොලු වලින් ගැහුවත් හිතුවේ මං අපි ගැන


පුච්චද්දි අත පය හිතුවේ මම ණය ගැන


සමහරක් දවසට ගහනකොට ලොකු ඇණ


මං දන්නේ නැතුවම යන්න ඇති මගේ පණ


ජනිත් විතාරණගේ ලියපු කවියක් 

සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  







පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න 
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නෑමයි ...ඕං.....