Pages

Tuesday, 25 March 2014

අල්ලං ගොහිං මරා දැමීම නොහොත් බඩුත් හාංදුරුවන්ගේ......නඩුත් හාංදුරුවන්ගේ....


සිරිලංකාවේ කාලෙක ඉඳං අහන්න ලැබෙන සැකකරුවන් නීතියේ 
ආරක්ෂකයන් වෙතින් මරුමුවට පත්වීමත්, ඒ අපරාධ සාධාරණීකරණය 
කරමින් නීතියේ මුරදේවතාවුන් අපභ්‍රංශ තීන්දු දීමත් ගැන “රාවය“
පත්තරේ කර්තෘතැන ලියාපු ලියුං කරදහියක් අන්තර්ජංජාලෙ තිබිල
අහුල ගත්ත බොලල්ලා....

දිග වැඩි වගේ හංද අදහස විකෘති නොවන විදිහට කපල කොටල මෙදා 
වංගියෙ ඔටුකතාවට ගන්නව ඕං...
==========================================================

සුගිය දිනෙක කොළඹ මහාමාර්ගයක ක‍්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් පොලිසිය විසින් අල්ලාගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදුව, මහේස්ත‍්‍රාත්වරයා මහජන පීඩාව ගැන ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට මුදාහැරියේය. 
එහෙත්, ඒ රටේම ජනාධිපතිවරයාගේ පුත‍්‍රයාගේ හා සහචරයන්ගේ වුවමනාවට වසරකට වරක් දින ගණනක් කොළඹ හදවතේ මංමාවත් වසාදමමින් වැලිකොට්ට ගොඩගසා කරන මෝටර් රථ ධාවන තරග, කෙතරම් මහජන පීඩාවක්දැ’යි විමසන්නට අධිකරණයක් මේ රටේ නැත. 

රටේ නීතිය කඩන්නේ ඉහළම පුද්ගලයන් විසිනි. 

ජනාධිපතිවරයා සිය වැඩිමහල් සහෝදරයාගේ පුත‍්‍රයාට කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලය දරමින්ම ප‍්‍රධාන ඇමති ධුරයක්ද දැරීමට හැකිවන ලෙස රටේ නීතිය වෙනස් කරද්දී, ඔහුගේ සහෝදර ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා රටේ නීති මහදවාලේ උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවට ගොඩවෙයි. 
කොළඹ මංමාවත්වල ජීවත්වන ජනතාව මුළුමනින්ම රටේ නීතිය උල්ලංඝනය කරමින් සිය ගෙවල්දොරවලින් පලවාහරියි. රටේ ඉහළම උදවිය කඩන නීතිය දිහා බලාගෙන ආණ්ඩු කාරවරියක් ප‍්‍රසිද්ධියේම තම දේශපාලන ගැතිකම මාධ්‍යවලට කියයි. 
ඒ අතර රජයේ විදුහල්පතිවරයෙක් සිය විදුහලේ බස්රථය දේශපාලකයන්ගේ මැති වරණ ප‍්‍රචාරක වැඩ වලට ලබාදෙයි. 
ලොක්කන් හිටගෙන කරන දේ සොක්කන් දුවමින් කරන තත්ත්වයක් උද්ගතවී ඇති වර්තමාන ලංකාවේ නීතියේ පාලනය යනු පුදුමාකාර විහිළුවකි. එහෙත් අතළොස්සක් දෙනා හැර ඒ ගැන කිසිදු කම්පාවක් සමාජයේ ඇති බවක් පෙනෙන්නේ නැත.

මේ තත්ත්වය මත නීතිය රැකීමට ඇති ආයතනද, යුක්තිය පසිඳලීමට ඇති ආයතනද වැඩ කරන්නේ ලොක්කන් දෙසම බලාගෙන ඒ අනුව වීම පුදුමයක් නොවේ. කෙටියෙන් කීවොත් පොලිසියත් අධිකරණයත් එසේය.
පොලිසිය විසින් හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටි පාතාල සාමාජිකයකුයැ’යි කියන අරුම ගමගේ සුගත් චමින්ද නොහොත් පාලංකඩ හීනා නම් පුද්ගලයකු සුපුරුදු පරිදි සඟවා ඇති ආයුධ පෙන්වන්නට පොලිසිය සමග ගොස්, වෙඩිතැබීමට තැත්කිරීමේදී පෙරළා පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් රත්නපුර ප‍්‍රදේශයේදී අලූයම් යාමයේ ජීවිතක්ෂයට පත්විය. 
මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනුණි. සැකකරු ඝාතනය වීම පුවත්පත්වල ප‍්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණු අතර එම ප‍්‍රවෘත්තිවල සම්පූර්ණ අන්තර්ගතය වූයේ ඉහත කී ලෙස පොලිසිය මාධ්‍යවලට කී කතාවයි. 
ආයුධ සඟවා තිබූ ස්ථානයට ගෙනගිය විට සැකකරුගේ මාංචු ගැලවූ බවත්, එවැනි අවස්ථාවකදී පුද්ගලික ආරක්‍ෂාවේ අයිතිය නමැති නීතිමය සිද්ධාන්තය පාවිච්චි කිරීමට සිදුවන බවත්, එසේ නැත්නම් පොලිස් නිලධාරීන්ට මියයෑමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා ඇති බව වාර්තා විය. 

පසුගිය කාලය මුළුල්ලේම තම භාරයේ සිටින 

සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිසිය කරන මේ

පැහැදිලිකිරීම ඇත්තක් යැයි අඩුගණනේ එම පොලිස් 

නිලධාරීන්වත් විශ්වාස නොකරන බව ප‍්‍රසිද්ධ රහසකි. 

ලංකාව නීතියේ පාලනය නැති රටක් බවට ලෝකය ඉදිරියේ පාච්චල්වීමට බලවත් දායකත්වයක් ලබාදෙන පොලිසියේ ව්‍යාපෘතියකි මේ. 
තම අත්අඩංගුවේ සිටින සැකකරුවකුගේ ආරක්‍ෂාවත්, ඔහු නීතිය ඉදිරියට පමුණුවා සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය භුක්තිවිඳින්නට ඔහුට ඉඩහැරීමත් පිළිබඳ පූර්ණ වගකීම රජය හෙවත් පොලිසිය භාරයේ තිබියදී, ඒ භාරය තුළම වෙඩිවැදී මියයන්නට සැකකරුවන්ට සිදුවීම විසින් කියාපාන්නේ ඒ රටේ නීතිය වල්වැදී ඇති බවය. 

රටේ නීතිය වෙනුවට කැලේ නීතියක් ක‍්‍රියාත්මක වන බවය.

තමන් වෙඩිතබන ලද්දේ ආත්මාරක්‍ෂාවටයැ’යි මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා කියන නමුත්, වෙඩිතැබූයේ ආත්මා රක්‍ෂාවටයැ’යිද එනිසා එය සාධාරණ වෙඩි තැබීමක්යැ’යිද කියන්නට නීතියක් තිබෙන රටක නම් ඔහු වැනි ප‍්‍රකාශකයකුට හැකියාවක් නැත. 
ඒ තර්කය අනුව බලන කල, මංකොල්ල කෑමට පැමිණෙන පාතාලයන් වුවද අන් අයට වෙඩි තබන්නේ තමන්ගේ ආත්මාරක්‍ෂාවට නිසා ඔවුන්ටද වෙඩි තැබීමට සාධාරණ අයිතියක් ඇති බව පිළිගත යුතුය. 
එහෙත් අප එසේ නොපිළිගන්නේ ඇයි?
නීතිය පවතින රටක නම්, ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කර ඇතිද යන්න තීරණය කළ යුතු වන්නේ අධිකරණය විසිනි. 
ඒ ද නඩු විභාගයකදීය. 
සිදුවීම පිළිබඳ සාක්‍ෂි කැඳවීමෙන් පසුය. 
එහෙත් දැන් සුලබව කරන්නේ, සැකකරුවකු මරා දැමූ පසු ඒ ස්ථානයට යන මහේස්ත‍්‍රාත්වරයකු පොලිසිය කියන කරුණු සලකා බලා, ‘ඔව්. එය ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කර කරන ලද සාධාරණ මිනිස් ඝාතනයකියැ’යි සිය නිල මුද්‍රාව තබා සාධාරණය කිරීමය.
මිනිස් ඝාතනයක් සිදුවූ තැනකට මහේස්ත‍්‍රාත් වරයකු යන්නේ මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට මිස නඩු විභාගයකට නොවේ. 
කෙටියෙන් කීවොත්, එහිදී කළ යුත්තේ ‘මරණයට වගකිවයුත්තා’ නොව ‘මරණයට හේතුව’ සොයාගැනීමය. 
ඒ සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට නියම කිරීමත්, මරණය සම්බන්ධයෙන් වගකිව යුතුයැ’යි සැකකරන කිසිවකු ඇත්නම් නීතිය ඉදිරියට පමුණුවන ලෙස පොලිසියට නියම කිරීමත් හැර වෙනත් තීරණ ගැනීමට රටේ සාමාන්‍ය නීතිය අනුව එවැනි ස්ථානයකට යන මහේස්ත‍්‍රාත්වරයකුට (හෝ හදිසි මරණ පරීක්‍ෂක වරයකුට) නොහැකිය. 
ඝාතනය කොට ඇත්තේ ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චිකොටද යන්න තීරණය කිරීමේ අයිතියක් එවැනි අයෙකුට තිබිය නොහැකිය.

මෙවැනි අසීරු මොහොතකදී සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනීසිටීමේ, තීරණ ගැනීමේ හා කටයුතු කිරීමේ බර ඇත්තේ අධිකරණය වෙතය. 

ලංකාවේ අධිකරණයට එවැනි යුක්තිසහගත පිටකොඳු 
අවශ්‍ය කොට තිබේ.

එහෙත්, මේ වැනි සිදුවීම් ලංකාවේ පොලිසිය, 
අධිකරණය හෝ සමාජය බැරෑරුම්ව නොසැලකුවාට, 
නීතියේ පාලනය හා රාජ්‍ය පාලනයේ ශිෂ්ටභාවය
පිළිගන්නා ජාත්‍යන්තර සමාජයක එවැනි රටකට
හිමිවන්නේ අවලාද, අවමාන හා ගැරහීම් මිස
ගෞරවනීය තත්ත්වයක් නොවේ. 


-සෙස්ස පස්සට ෴


- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....



10 comments:

  1. මේවා ගැන කතා කරලා හිත නරක් කරගන්නෙ මොකටද ආයිබෝං. අපි නම් නොදුටුවා සේ බලෙන්ම රටෙන් පිටුවහල් වෙලා ඉන්නේ ඒකනෙව.

    ReplyDelete
    Replies
    1. Anonymous22:15

      ඒකත් එක උත්තරයක් තමයි. මටත් වෙලාවකට එහෙම හිතෙනව.
      ඒත් හැමෝම මෙහෙම හිතන්න ගත්තොත්........????
      අනේ මංදා....

      Delete
    2. චන්දිම නිරෝෂන්22:20

      නොදුටුවා සේ නොඉඳ දිවි හිමියෙන් මේ තත්ත්වය වෙනස් කරන්න පෙරමුණ ගනිමු. අපි නිහඬව ඉඳීමෙන් වෙන්නෙ අනියමින් අනුමත කිරීමක්.

      Delete
  2. Lion22:51

    අපේ සංගම් වලට මඩ නොගහ ඔන්න ඔහොම කතා ලියනවනං ඔටුවට බොක්ක වුණත් දෙන්නම්කෝ.....

    ReplyDelete
    Replies
    1. //අපේ සංගම් වලට මඩ නොගහ ඔන්න ඔහොම කතා ලියනවනං ඔටුවට බොක්ක වුණත් දෙන්නම්කෝ..... //

      හෙහ්, හෙහ්.... ලොකු තාත්තත් ඔන්න ඔහොම අර මහේස්ත්‍රාත්ට කියන්න ඇති "අපේ පුතාල කරන ඒව නොදැක ඔය කජු කිරි කොල්ලොන්ට විතරක් අවවාද දෙනවනම් උසස් වීමකුත් දෙන්නන්කො" කියල. හෙහ්, හෙහ්....හෙහ්

      වැරදි දේ කොතන තිබ්බත්, කවුරු කොලත් වැරදියි මිත්‍රය. ඒ හින්ද අපේ එක නොබල උගේ එක විතරක් විවේචනය කරන්න කියන්නෙ තම්න්ගෙ කුණ නොකා අනුන්ගෙ කුණ කකා ඉන්න කපුටො. අනුන්ගෙ ඒවට ඇඟිල්ල දික් කරනව වගෙම තමන්ගෙ වැරදි අඩුපාඩු පෙන්නුවමත් ඒව මැදහත් සිතින් භාර අරන් හදා ගන්න උත්සාහ කරන්න.

      Delete
    2. ඉන්දික ළමයෝ....පට්ට පට පට කිව්වලු. මුං සිංහ වෙස් ගත් හිවල්ලු.....
      ඒ වචනෙ සම්භාව්‍ය වැඩියි ......නරි....නරි....ළඟින් ගියොත් අධික ගඳ දැනෙන බලු නරි.
      හුකෑෑෑ ස්....

      Delete
  3. අර කියන විදියෙ පිට කොන්දක් තිබ්බ කෙනෙක් තමා ශිරාණි කියන්නෙ.. මොකා මොක කලත් නීතිය ක්‍රියාත්මක කරන්න ගිය හින්ද දැං එයාටත් විත්ති කූඩුවට නගින්න වෙලා... එහෙව් රටක ඉන්නෙ අමතක කරන්න එපා...
    රතු සාටක මේනියාව ඉවර ුණ දවසක ..........
    ඔව් අන්න එදාට ඕ ගැන කතා කරමු

    ReplyDelete
    Replies
    1. හා...හා...කට කට....
      ධවල වර්ණ රථ

      Delete
  4. රටේ නීතිය කඩන්නේ ඉහළම පුද්ගලයන් විසිනි. ///මෙක නිසා තමා හෙණ ගහලා තියෙන්නෙ

    ReplyDelete
  5. කොහෙද බං අපේ රටේ නීතියක් තියෙන්නේ. ඒක තියෙන්නේ මහ එකාගේ අමුඩෙ අස්සේ. ඌට හිතුනාම තමයි ඕක අස්සට අතදාලා පොඩ්ඩක් අරන් ගොඩාක් පෙන්නන්නේ. ඔය වන් අයි කාරයාත් ඕවා දැණගෙනම මුන්ගේ අමුඩ හෝදනවා ගඳ වැඩිවෙන වෙලාවට.

    ReplyDelete